Presidential Secretariat of Sri Lanka

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි

  • ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඉන් අනතුරව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

“ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ඉතිහාසයේ ලබාදුන් වැඩිම මුදල වන රුපියල් මිලියන 10.5ක මුදලක් පෙරහර භාරය විසින් මෙවර ලබාදීම විශේෂත්වක් විය.

මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දීම මෙහිදී සිදුවිය.

ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය

ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි.

පෙරහර සංවිධානය කිරීමට කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ආගමික මෙන්ම ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෝකය හමුවට ගෙන යන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් වූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාම සියලුදෙනාගේ වගකීම බවද අවධාරණය කළේය.

මහනුවර නගරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් බවට පත්කරමින් පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ඉතා සාර්ථක සහ උසස් මට්ටමින් පැවති පෙරහරක් අප මෙවර නැරඹුවා. මෙවන් පෙරහරක් පැවැත්වීම පහසු කාර්යයක් නොවෙයි. ලෝකයේ විවිධ පෙරහර පැවැත්වෙනවා. එක් එක් ආගම්වලට අයත් විශේෂ සංස්කෘතික ලක්ෂණ සහිත පෙරහර පැවැත්වෙනවා. නමුත් ඒ පෙරහර අතරින් අද ඓතිහාසික දළදා පෙරහරට විශේෂ ස්ථානයක් හිමිවන බව කිවයුතුයි. ඒ අනුව මෙම පෙරහර මංගල්‍යය මෙරට උසස්ම සංස්කෘතික පෙරහර මංගල්‍යය ලෙස සැලකෙනවා.

ඒ වෙනුවෙන් මේ සම්බන්ධව කැපවී කටයුතු කරන ශ්‍රී දළදා මාළගාවට සහ ඊට සම්බන්ධව කටයුතු කරන සියලු දේවාලවලට ස්තූතිවන්ත වනවා. මේ පෙරහර දියුණු මට්ටමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු සහාය ආණ්ඩුවක් ලෙස දියවඩන නිළමේතුමා ඇතුළු ඒ සියලුදෙනාට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්වය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අප අපේක්ෂා කරනවා.

මධ්‍යම රජය, පළාත් සභාව සහ මහනුවර නගර සභාව එක්ව එම කටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. දියවඩන නිළමේතුමා ඇතුළු සියලු දේවාලවල නිලමේවරුන්ගේ දායකත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම කලාකරුවන් පුහුණු කරන සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහයෝගය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අප කටයුතු කරනවා. මීට දශක 04කට පෙර ආරම්භ කළ බෙල්වුඩ් ආයතනය තරුණ සේවා සභාවේ කලා ආයතනයක් ලෙස දියුණු කර මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම ලබාදීමට හා මෙම කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු කළයුතුයි. මේ පෙරහර මංගල්‍ය සමඟ මහනුවර කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. ඒ වගේම මේ නගරය දියුණු කිරීමට අප තවත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

බෝගම්බර ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් ඇති කිරීමට අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. පැරණි තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමඟ සම්බන්ධකර ගනිමින් නව හෝටලයක් ඇති කිරීමට ද සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් සංචාරක හෝටල් සඳහා යොදා ගැනීමටත්, මහුනවර දකුණ ලංගම ඩිපෝව ද ඒ සඳහා යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

දැනට තිබෙන මහනුවර පොදු වෙළෙඳපොළ නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිගන සහ කුණ්ඩසාලේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදරින් අවසන් නොකර කටුගස්තොට දක්වා ඉදිකිරීමට මම ජපාන රජයෙන් ඉල්ලීක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශය විශාල නාගරික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.

පේරාදෙණිය උද්‍යානය වගේම අපි උඩවත්ත කැලය ගැන ද අවධානය යොමු කළ යුතුයි. දළදා මාළිගාවට වගේම සතර මහ දේවාල වෙතත් සංචාරකයන් ගෙන්වා ගනිමින් ආගමික වැඩකටයුතු සමඟ සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබනෙවා.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට ද අප බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්