Presidential Secretariat of Sri Lanka

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට කටයුතු කරනවා

  • ස්ථිර නොකරන ලද සේවකයින් 8400කට ස්ථිර පත්වීම් – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ‍මෙසේද පැවසීය,

“GIS” සහ “GPS Mapping” මඟින් පළාත් පාලන ආයතනවල සියම මාර්ග ඛණ්ඩාංක ගත කර මාර්ග ඉන්වෙන්ට්රියක් සකස් කර එම මාර්ග 1987/ අංක 15 දරණ පළාත් පාලන ආයතන පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදන මඟින් පලකර එහි අයිතිය පළාත් පාලන ආයතන වෙත තහවුරු කිරිමට නියමිතව තිබෙනවා.
අප එම වැඩපිළිවෙල වයඹ පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. එම ක්‍රමවේදය සියළුම පළාත් ආවරණය කිරිම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර 2023.10.09 දින ඊට අනුමැතිය ලබා ගෙන තිබෙනවා. වසර 36කින් සිදුකිරීමට අපොහොසත් වූ මාර්ග සිතියම් ගත කිරීමේ ක්‍රමවේදය අප වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සිදුකරනවා.

එමෙන්ම උතුරු මැද හා උතුර යන පළාත් මේ වන විට මාර්ග හඳුනාගෙන ඛණ්ඩාංක සලකුණු කිරිම අවසන් කර තිබෙනවා. එය 2023.12.31 දිනට පෙර එම පළාත් දෙකෙහි කටයුතු අවසන් කිරීමට නියමිතයි. ඉතිරි පළාත් 06 සඳහා කාල රාමුවක් සකස් කර පුහුණුවීම් ලබා දී 2024 වසරේදි ඉලක්කය සපුරා ගැනිමට අපේක්ෂා කරනවා.

අප අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හරහා පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට කටයුතු කරනවා. ඉන් සෞඛ්‍ය අංශය වෙනුවෙන් මිලියන 4,500ක් ලබා දීමට කටයුතු කරනවා. ලබන වසරේ ජූනි මාසය අවසන් වන විට අදාළ පළාත්වල සෞඛ්‍ය ගැටළු විසදීමට කටයුතු කරනවා.

එම පළාත්වල තිබෙන පාසැල්වල පවතින අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් තවත් මිලියන 4,500ක් ලබාදීමට ද අප කටයුතු කරනවා. ජනවාරී මාසයේ ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 06ක් තුළ නිම කිරීමට ද බලාපොරොත්තු වනවා.

ඒ වගේම පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින ස්ථිර නොකරන ලද සේවකයින් 8400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බදවා ගැනීමට කටයුතු කරනවා. ඔවුන් වසර 15ක හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයින් වනවා. පළාත් සභාවලට සේවකයින් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයින් ලෙස ලබා දී තිබෙනවා. මේ මස 10 වන දින වනවිට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු සිදු කිරිමට අදාළව මෘදුකාංගය සකස් කිරීම ඉදිරි සති 02ක් වැනි කාලයක් තුළ නිම කිරිමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරිම 2023.11.30 දින වන විට ආරම්භ කිරිමට නියමිතයි.

ඒ වගේම ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් කිරිම සහ සනීපාරක්ෂතා බිම් පිරවුම් ව්‍යාපෘතිය නමින් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්වල සහ සියලු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටළු සඳහා විසදුම් ලබා දිම පිණිස වූ ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදි ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.

පුවත්

Most popular