Presidential Secretariat of Sri Lanka

ජාතික මීලාදුන් නබි උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරම දී

  • සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි.
  • ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ.
  • ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙනවා – ජනපති අවධාරණය කරයි.

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය.

ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක් බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලදි.

ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

දීර්ඝකාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය.

පුත්තලම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා වෙත සහ පුත්තලම දිස්ත්‍රික් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණ පිළිගැන්විණි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද අපි නබි නායකතුමාගේ උපන්දිනය සමරනවා. මම මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණ සහභාගිවන දෙවන ආගමික උත්සවය මෙයයි. මාස කිහිපයකට පෙර අපි මඩු පල්ලියේ පැවති උත්සවයට සහභාගී වුණා.

මෙම උත්සවය උත්කර්ෂවත්ව සංවිධානය කිරීම පිළිබඳ මම ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්තූතිවන්ත වෙනවා.

මෙම උත්සවය වගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම, නිවාස ව්‍යාපෘති ආදි සංවර්ධන වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සංවර්ධනය මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍යයි. මෙම ප්‍රදේශය යුද්ධයෙන් හානි වූ ප්‍රදේශයක්. ඒ නිසා මෙම ප්‍රදේශවල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. ඇමතිතුමා මට එය පාර්ලිමේන්තුවේදීත් මතක් කරනවා.

විශේෂයෙන් මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම වගේම මෙහි අධ්‍යාපනය දියුණු කළයුතුව තිබෙනවා. මන්නාරම නගරයේ අධ්‍යාපනය යහපත් මට්ටමක තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

අද අප මෙතනට පැමිණ සිටින්නේ නබි නායකතුමා සිහිපත් කිරීම සඳහායි. නබි නායකතුමා දේශනා කළ එම ධර්මය තමයි අද ලංකාවේ තිබෙන්නේ. ඒ නිසා අප මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සළකනවා.

අපේ ප්‍රතිපත්තිය සෑම ආගමකටම සමානව සැලකීමයි. ඒ වගේම සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම අපේ අරමුණයි. මෙහි සිටින මුස්ලිම් ජනතාවට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා විසඳීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. මම භාරගත්තේ බංකොළොත් රටක්. අපි තවම එම බංකොළොත්භාවයෙන් ගොඩඑමිනුයි සිටින්නේ. එම නිසා එම වැඩකටයුතු අපි ක්‍රමානුකූලව කරගෙන යමු.

නබි නායකතුමාගේ ඉස්ලාම් ධර්මය අද මොරොක්කෝවේ සිට ඉන්දුනිසියාව දක්වා අප්‍රිකාවේ, යුරෝපයේ මේ සෑම තැනම පැතිරී තිබෙනවා.

නබිනායකතුමා මෙම ධර්මය දේශනා කරද්දි ඒ ප්‍රදේශයේ ක්‍රිස්තියානු යුදෙව්වන් සියලුදෙනා ජීවත් වුණා. ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් අද එහෙම නොවයි විශාල ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය සිකුරාදා පලස්තීන ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළා. ඊට ප්‍රථම ආණ්ඩුවත් අදහස් ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තුවේත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට ආහාර ලොරි 20 ගෙන ගොස් තිබෙන බව අපට අහන්න ලැබුණා. නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

ඊශ්‍රායල – හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබා දිය යුතුයි.

ඊශ්‍රායල – හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සහ මන්නාරම හා මුලතිව් සංවර්ධන කමිටු සභාපති කාදර් මස්තාන් මහතා,

ජාතික මීලාදුන් උත්සවයට සහභාගි වීමට ජනාධිපතිතුමා මන්නාරමට පැමිණීම අපේ ජනතාවට කළ ගෞරවයක් ලෙසයි අපි සලකන්නේ. යුද්ධය අවසන් වුණාට පස්සේ මේ ප්‍රදේශය දියුණු වුණේ නැහැ.නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි සැලසුමකින් තොරව සිදු කර තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ සංවර්ධනයට හා ආයෝජන සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඔබතුමාගේ නායකත්වය යටතේ ඉටුවන බව සඳහන් කළයුතුයි. ඔබතුමා ආර්ථිකය කඩාවැටීමකට ලක්ව තිබූ රටේ වගකීම භාරගෙන ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළා. ජනතාවගේ දුෂ්කරතා හොඳින් හඳුනන ජනාධිපතිවරයකු ලෙස ඔබ මෙම ප්‍රදේශවල පවතින නැවත පදිංචි කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular