Presidential Secretariat of Sri Lanka

03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

  • “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගැනීමට නියමිත අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද එළිදැක් වේ.

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (18) බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ කෙරුණු අතර එහි මුඛ්‍ය දේශනය සිදු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබීය.

අනතුරුව ඔව්හු චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පයේ මුලික පදනම බවයි.

අනුනට උදව් කිරීමේ අවසන් ඵලය තමාට යහපතක් සිදුවීම බව ද චින ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම, “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එකී අට වැදෑරුම් ප්‍රතිපත්ති වේ.

එක් තීරයක් – එක් මාවතක් සංකල්පය ඔස්සේ මිත්‍රත්වයේ සංධ්වනියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් දායක වන ලෙසද ෂී ජින් පිං මහතා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් (Vladimir Putin) , කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev), ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) , ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් (Alberto Fernández), ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) යන මහත්වරුන් ද සමුළුව අමතා අදහස් දැක්වූහ.

සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා පැවසුවේ ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ තොරතුරු පහසුකම් සැපයීමෙන් තොරව අනාගත ලෝකයට සංවර්ධනය ළගා කර ගැනීම අපහසු බවයි.

මෙම අවශ්‍යතා ඉටුකරලීම උදෙසා “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ අතිමහත් රුකුලක් බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය බරින් මුදවා ගැනීමේ අභියෝගය ජය ගැනීමේදී ද “එක් තීරයක් – එක් මාවතක්” ඔස්සේ විශාල සහයක් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී කේ.කේ. යෝගානන්දන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අධ්‍යක්ෂ ජනරාල් පූජිත පෙරේරා, ජනාධිපති පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular