Presidential Secretariat of Sri Lanka

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දෙනු ලබන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම අධ්‍යයන පර්යේෂණ දීමනාව ඉල්ලා සිටින පරිදි ලබා දීමට දැනට පවතින චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති වුවත්, එය පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 03ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය බරන ජයවර්ධන, ලේකම් ආචාර්ය අතුලසිරි සමරකොන් යන මහත්වරු ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular