Presidential Secretariat of Sri Lanka

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට

  • ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඔක්තෝබර් 11 කොළඹදී.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් ඉදිරි සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඕස්ටේලියානු සහකාර විදේශ කටයුතු අමාත්‍ය ටිම් වොට්ස් (Tim Watts), බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මූමන් (Dr A. K. Abdul Momen), ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් (Dr. Subrahmanyam Jaishankar), ඉන්දුනිසායාවේ දේශපාලන නීති සහ දේශපාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ඇඩම් මුලවර්මන් ටුජිඕ (Adam Mulawarman Tugio), ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් – අබ්දොලාහියන් (Hossein Amir-Abdollahian), මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දතෝ සෙරි ඩිරජා සම්බ්‍රි අබ්දුල් කදීර් (Dato Seri Diraja Zambry Abdul Kadir), මුරුසියේ විදේශ කටයුතු, කලාපීය සහයෝගීතා සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනීෂ් ගොබින් (Maneesh Gobin), ඕමානයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ෂෙයික් ඛලීෆා බින් අලි බින් ඉසා අල්-හර්ති (Sheikh Khalifa bin Ali bin lssa Al-Harthy), සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය අධ්‍යාපන සහ විදේශ කටයුතු පිළිබඳ දෙවන අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් මලිකි බින් ඔස්මන් (Dr Mohamed Maliki Bin Osman), දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය නලෙඩි පන්දෝර් (Dr (Mrs) Naledi Pandor), තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සිහසක් ෆොන්ග්කෙට්කියෙව් (Sihasak Phuangketkeow), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය ෂයිඩ් මුබාරක් අල් හජරි (Sayeed Mubarak Al Hajeri), යේමනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අස්වන් අබ්දුල්ලාහ් අහමඩ් අල්-ඔවුද් (Awsan Abdullah Ahmed Al-aud) යන මහත්ම මහත්මීන් කොළඹ දී පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වනු ඇත.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය මසහිරෝ කොමුරා (Masahiro Komura), කොරියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චන්ග් යුන්ග් – වොන් (Chung Byung-won), එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් අමාත්‍ය ඈන් මාරි ට්‍රැවලියන් Anne Marie Trevelyan යන මහත්ම මහත්මීන් මෙහි සංවාද හවුල්කරුවන් ලෙස එක් වෙති.

අමාත්‍යවරුන්ගේ කවුන්සිලය යනු ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ තීරණ ගැනීමේ ඉහළම ආයතනය යි. මෙම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මීළඟ සභාපති ධුරය භාර දීමට නියමිත ය. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙම කවුන්සිලයේ මුලසුන හොබවනු ඇත.

කවුන්සිලයට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම ඔක්තෝබර් 9-10 දෙදින පැවැත්වීමට නියමිත ය.

1997 දී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරයේ වටද්දර ප්‍රදේශවල පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයකි. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරති. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත. අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ සභාපතිත්වය භාරගනු ඇත.

වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හරිත ආර්ථිකය ඇතුළුව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයට අදාළව සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව අමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් ආචාර්ය සල්මාන් අල් ෆාරිසි සහ මුරුසි හි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත ය.

මෙරටට පැමිණෙන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත ය. තවද, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

පුවත්

Most popular