Presidential Secretariat of Sri Lanka

ජාත්‍යන්තර ගුරු දින පණිවිඩය

පවත්නා අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් මෙරට ගුරු පරපුර සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. විවිධ වූ දුෂ්කරතාවයන් මැද තම කාලය, ශ්‍රමය සහ ධනය කැප කරමින් සුවහසක් වූ දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ඔවුන් සිදු කරන කාර්යයභාරය මම කෘතවේදීව අගයමි.

ගුරුවරුන් වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මට හැකි විය. ප්‍රමිතිගත ගුරුවරුන් බිහි කිරීම උදෙසා ගුරු විද්‍යා පීඨ ආරම්භ කිරීම මෙන්ම දේශපාලන බලයට නතුව පැවති ගුරු පත්වීම් හා ගුරු මාරුවිම් අධ්‍යාපන සේවා කොමිසම යටතට ගෙන එමින් අධ්‍යාපන පරිපාලනය ස්ථාපිත කිරීමට ගත් පියවර ද සිහිපත් කරමි. එසේම ගුරුවරුන්ට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීමට ඩෙලික් ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළු සේවා රැසක් එදා ගුරු වෘත්තියේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට මට හැකි විය.

දියුණු ලෝකය සමඟ තරඟකළ හැකි දරු පරපුරක් ගොඩනැඟීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසකට රජය මුලපුරා ඇති අද දවසේ ඒ හා සමගාමීව ගුරු භූමිකාව සංවර්ධනාත්මකව වෙනස් විය යුත්තේ කෙසේ ද යන්න හා එහිදී ගුරුවරයා මුහුණ දෙන අභියෝග කවරේ ද යන්න විමසුමට ලක් කිරීම ඉතා කාලෝචිත බව මම විශ්වාස කරමි.

සමස්ත ගුරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සමාජයේ ලබාදිය හැකි ඉහළම ඇගයීම හා ගෞරවය ලබාදීමට මා ඇතුළු රජය කැපවී සිටින බව ලෝක ගුරු දිනය සමරන මේ මෙහොතේ යළි සිහිපත් කරනු කැමැත්තෙමි.

සුවහසක් දූ දරුවන්ගේ නැණස පාදමින් දැනුමෙන් මෙන්ම ගුණදම්වලින් පෝෂණය වූ යහපත් අනාගත පරපුරක් ගොඩනැඟීමේ මහඟු කාර්යයේ පුරෝගාමී මෙහෙවරක නිරත සමස්ත ගුරු පරපුරට ජාත්‍යන්තර ගුරු දිනය උපහාරයක්ම වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

පුවත්

Most popular