Presidential Secretariat of Sri Lanka

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

  • ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බහු පාර්ශ්වික කමිටුවේ නිර්දේශ.

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවන ලදී.

“දිරි පියස” භාරකාර අරමුදලේ සහ ඇග්‍රොමාර්ට් අවුට්රිච් පදනමේ හිටපු සභාපතිනී නීතීඥ ඒ. කේ. වීරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කැනඩාවේ ගෝලීය විශ්වවිද්‍යාල සේවයේ අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල්, පොලිටික්ස් එස්එල්කේ ආයතනයේ උපායමාර්ගික විශේෂඥ මලිතී හේරත්, කාන්තා විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ අධ්‍යාපන විශේෂඥ නිර්මාලි වික්‍රමසිංහ, වෛද්‍ය දිල්ශානී බෝගොල්ලාගම, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ළමා ආරක්ෂණ සංවර්ධන සහ විශේෂ අවශ්‍යතා වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවමල්ගේ, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාසකෝරාළ, “සේව් ද චිල්ඩ්‍රන්” හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ විද්‍යාල කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අස්විනි ඩී. ප්‍රනාන්දු සහ යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂණ විශේෂඥ, නීතීඥ හා වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කරති.

විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කළේය.

ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසකවීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදී ගැටලු මෙන්ම ළමා ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබේ.

එසේම නවීන සමාජයේ පවතින ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කර ගනිමින් ළමා ආරක්ෂාව සඳහා පවතින ආයතනික, පරිපාලන සහ නෛතික ආරක්‍ෂාවන්හි ප්‍රමාණාත්මකභාවය ද එහිදී ඇගයීමට ලක් කර ඇත.

තවද, විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව ද මෙම වාර්තාව මගින් නිරීක්ෂණයට ලක්කර ඇත. එමඟින් ළමයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුවන ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනයට ලක්කර ඇති අතර ළමා ආරක්ෂණ මුලපිරීම් වෙනුවෙන් ප්‍රජා සහභාගීත්වය සඳහා ගත යුතු නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ.

ළමුන් සඳහා සිදු කරන ආයතනිකගත ආරක්ෂණය අවම කිරීම සහ පවුල් පාදක ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුව අවධානය යොමු කර ඇත.

මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමුන් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ජීවන කුසලතා සංවර්ධනය සහ පුද්ගල ආරක්ෂණ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සාර්ථකව සමාජගත කිරීම සඳහා වන නිර්දේශ ද මෙහි ඇතුළත්ය.

ළමුන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනාගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.

පුවත්

Most popular