Presidential Secretariat of Sri Lanka

ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනමින්

ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනම් කරමින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ආරුගම්බේ ප්‍රදේශය මූලික කරගෙන අම්පාර දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුලික සාකච්ඡාවේ දී හඳුනාගත් ගැටළු සහ ඒවා විසඳීමට මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණ.

ඒ අනුව එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ දී මුහුණ දිමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරුණු අතර ඒවාට විසඳුම් සෙවිමේ දි එක් එක් රේඛීය ආයතනවලට සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ ආරුගම්බේ ප්‍රධාන සංචාරක සැලැස්ම ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු වූ අතර වසර 3ක් සඳහා වන එම සංචාරක සංවර්ධන සැලැස්ම ජනාධිපතිවරයාගේ අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන බව සාගල රත්නායක මහතා සඳහන් කළේය.

මෙම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය සඳහා මසකින් නැවත රැස්වීමට ද මෙහිදී තීරණ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම යන මහත්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular