Presidential Secretariat of Sri Lanka

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක් මෙලෙස භාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අළුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.

මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ලක්ෂ්මන් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular