Presidential Secretariat of Sri Lanka

අරගල හමුවේ ලෝකයේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටුණත් වසරක් වැනි කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා සමත් වුණා – පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ජූලි 09වනදා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවෙම එකමගකට මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

කිසිවෙකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය:

විවිධ ගෝලීය හේතුන් මත මෙන්ම එවකට රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රජයට විරුද්ධව රටේ විශාල ජන මතයක් ගොඩනැගුණා. අරගලයට මිනිසුන් පැමිණීම වෙනුවෙන් සාධාරණ හේතු තිබුණා. පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් නිසා දෛනිකව ජනතාව බොහෝ පීඩාවට පත් වුණා. ජනතාව මුහුණ දුන් සමාජ ආර්ථික පීඩනය අපිත් දැක්කා.

මෙම තත්ත්වය තුළ සාමකාමී අරගලයට සම්බන්ධ වූ ජනතාවට ගෙවල් ගිනි තැබීමට, මිනිස්සු මරා දැමිමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා.

අරගලයට සම්බන්ධ වු ඇතැමුන්ගේ ගිණුම්වලට විදෙස් රටවලින් කෝටි ගණන් මුදල් ලැබී තිබෙනවා. මේ වන විටත් අධිකරණයේ ඇති නඩුවකට අදාළ විත්තිකාර පාර්ශ්වයක ගිණුමට මුදල් එවා තිබෙන්නේ ගෝතමාලාව කියන රටින්. ගෝතමලාව ප්‍රධාන වශයෙන් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රටක්. මෙතනදි අප අමතක කළයුතු නැහැ එවකට හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරු බව.

මම මේ කියන කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමට නායකත්වය දුන් බවට සැක පිට තරුණයෙකු අත්අඩංගුවේ සිටිනවා. ඔහුගේ ගිණුමටත් විදේශ රටවලින් මුදල් ලැබුණු බවට කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අරගලයට නායකත්වය දුන්බොහෝ පිරිසකගේ ගිණුම් මේ වන විට පරික්ෂාවට ලක්වෙමින් තිබෙනවා. තව දින කිහිපයකින් ඒ අයට මුදල් ලැබී ඇති ආකාරයත් අප රටට හෙළි කරනවා.

මීට වසරකට කලින් අද අපි මෙම රැස්ව සිටින ස්ථාන ය තිබුණේ අරගලකරුවන්ගේ ග්‍රහණයේ. ඔවුන් අතර සිටි ඇතැම් විනාශකාරී පිරිස් වසර ගණනාවක් මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයන් සිටි මන්දිරය කඩා බිඳ දමා වටිනා දේපළ විනාශ කළ දවස අදයි. වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබියදි එම නිවස සහ පුස්තකාලය ගිනි තැබු දවස අදයි. එම පුස්තකාලය ආසියාවෙම තිබු වැදගත් ග්‍රන්ථ රැසකින් සමන්විත වු බව ප්‍රසිද්ධ කාරණයක්.

ඇතැම් දේශපාලන පක්ෂ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වු උත්තරීතර පාර්ලිමේන්තුව පවා ගිනි තැබීමට ජනතාව පෙළඹවූ දිනය ලෙස ජූලි 09 වනදා ඉතිහාසයට එක්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිටි අහිංසකම මහජන නියෝජිතයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා නින්දිත ලෙස මරා දැමුවා. ඒ වගේම මැති ඇමතිවරුන්ගේ නිවාස 47ක් ගිනි තැබුවා. ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ, ආධාරකරුවන්ගේ නිවාස ගිනි තැබුවා. ඒ වගේම තවත් පොදු දේපළ විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූණා .

මෙවැනි අරගලවලට මුහුණ දුන් මැදපෙරදිග, අප්‍රිකානු රටවල් වසර ගණනාවක් යන තුරු දියුණු වුණේ නැහැ. එම රටවල් වසර ගණනාවක් අරාජික රටවල් ලෙස පැවතුණා. දරුණු මංකොල්ලකෑම් ඇතුළු අපරාධ වැඩි වුණා. ඒ හමුවේ එම රටවල ජනතාවට බිහිසුණු අත්දැකීම්වලට මුහුණදීමට සිදු වුණා. උන්හිටි තැන් අහිමිව ඇතැම් පිරිස් රට හැර ගියා.

ලංකාව මුහුණ දුන් මෙම අභියෝගය හමුවේ රට භාර ගැනීමට එදා කිසිවෙක් ඉදිරිපත් වුයේ නැහැ. වත්මන් විපක්ෂ නායකවරයාට ආරාධනා කළ විට ඔහු එම අභියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. කිසිවෙක් භාරගැනීම ප්‍රතික්ෂේප කළ රටක් තමයි වත්මන් ජනාධිපතිතුමා භාරගත්තේ. ඒ වන විට මේ රට පැවතුණේ බංකොළොත් රාජ්‍යයක් ලෙසයි. ණය ගෙවා ගන්න බැරි රටක්. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා කිසිවක් සපුරාලිමට නොහැකි වු රටක් තමයි එදා තිබුණේ.

රටේ උද්ධමනය ඒ වන විට 67%ක් දක්වා ඉහළ ගොස් තිබුණා. විදේශ සංචිත බිංදුවටම පහත වැටි තිබුණා. විදේශ ප්‍රේශන ලැබුණේ නැහැ. සංචාරකයන් පැමිණියෙත් නැහැ. බැංකු පොලි අනුපාතය 30%ට ඉහළ ගියා. එවැනි දැඩි අභියෝගකාරි අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තා. එතුමා රට භාරගෙන අදට වසරක් ගත වෙනවා.

ලෝකයේ අරාජික වූ කිසිදු රටක් වසරක් වගේ කෙටි කාලයකදී මෙතරම් පරිවර්තනයකට ලක්ව නැහැ. ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේවන විට රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එදා 60%ක්ව තිබු උද්ධමනය මේ වන විට 7%ක් දක්වා පහළ බැස ඇති බව මහබැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. 30%ක් දක්වා ඉහළ ගිය බැංකු පොළිය අද වන විට 12%ක් දක්වා අඩු කිරීමට මහබැංකුවට හැකි වී තිබෙනවා.

ඒ වගේම විදුලිබිල 55%කින් පහතට ගෙන ඒමට හැකි වුණා. ගැස් මිල 40%කින් පමණ අඩු වුණා. පසුගිය මාසයේ පමණක් ලක්ෂයක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එතරම් ප්‍රමාණයක් එක් මාසයක සංචාරයක් පැමිණ තිබෙන්නේ වසර 04කට පසුව බවත් මෙහිදි සඳහන් කළයුතුව තිබෙනවා.

ඇතැම් දේශපාලන පක්ෂ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට මුදල් එවන්න එපා කියලා. නමුත් මේ වන විට වාර්තාගත විදෙස් මුදල් ප්‍රමාණයක් ඔවුන් මෙරටට එවා තිබෙනවා. ඒ වගේම අද අපනයන ඉහළ ගොස් තිබෙනවා. විදේශ ප්‍රේශන වැඩිවෙලා. කොටස් වෙළඳපොළ වාර්තාගත ලෙස ඉහළගොස් තිබෙනවා.

කොටස් වෙළෙඳපොළේ ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ ජනතාවට වගේම ව්‍යාපාරිකයන්ටත් මේ රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව විශ්වාසයක් ඇති වී තිබෙන බවයි.

දැන් අරගලවලට පැමිණෙන ලෙස ජනතාවට ආරාධනා කළාට ඔවුන් පැමිණෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා. අරගල කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා.

නමුත් මොනම හේතුවක් නිසාවත් මේ රට ආරාජික කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවකට ඉඩ තිබෙනවා. අද වන විට ජනාධිපතිවරයා මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර තිබෙනවා. එතුමා රට නිසි මාවතකට යොමු කර තිබෙනවා. ඒ නිසා එතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්න කියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පුවත්

Most popular