Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි

  • 06 වන සාකච්ඡා වටය අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේදී ඇරඹේ.

ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා සඳහන් කළේ එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි.

මීළඟ සාකච්ඡා වටය 2023 අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත් ඒ මහතා පැවසීය. එසේම 2024 පෙබරවාරි මාසයේ පැවැත්වීමට යෝජිත අවසන් සාකච්ඡාවට පෙර තවත් සාකච්ඡා වට තුනක් සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය 28 වන බදාදා දක්වා පැවැත් වේ.

ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීමේ ශ්‍රී ලංකා රජයේ අරමුණ මෙහිදී තායිලන්ත දූත පිරිස හමුවේ පැහැදිළි කළ වීරසිංහ මහතා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) කොටසක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවේශය ප්‍රථමයෙන් දකුණු ආසියාව තුළ පුළුල් කිරීමත්, පසුව එය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව පැවසීය.

ශ්‍රී ලංකාව දැනටමත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සඳහා ලේකම් කාර්යාලය ලෙසද කටයුතු කරන ආසියාන් ලේකම් කාර්යාලයේ මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවත්, ආසියන් සහ කලාපීය විස්තීරණ හවුල්කාරිත්ය යන දෙඅංශය තුළම තායිලන්තයේ ක්‍රියාකාරී සහභාගීත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බවත් වීරසිංහ මහතා පැවසීය.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supathaweethum) මහත්මිය මෙම සාකච්ඡා සඳහා මාර්ග ගත තාක්ෂණය ඔස්සේ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාර්න්පෝල් (Poj Harnpol) මහතා ප්‍රමුඛ තායිලන්ත නියෝජිත පිරිස ද, ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ශෙනුකා සෙනෙවිරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජයවර්ධන, නියෝජ්‍ය ප්‍රධාන සාකච්ඡාකරු ජනාධිපති අතිරේක ලේකම් එස්.ඩබ්ලිව්.සී. ජයමිණි යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සාකච්ඡාවට සඳහා සහභාගී වූහ.

පුවත්

Most popular