Presidential Secretariat of Sri Lanka

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සාමූහික ප්‍රයත්නයට කදිම සාක්ෂියක් – තුර්කියේ තානාපති

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සාමූහික ප්‍රයත්නයට කදිම සාක්ෂියක් බව ශ්‍රී ලංකාවේ තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියෝග්ලු (R. Demet Şekercioğlu) මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජීවිත නඟා සිටුවීමට ලබා දෙන ලද පොරොන්දුවක් ඉටු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව සිය සතුට පළ කළ තානාපතිනිය මෙම ව්‍යාපෘතිය දහස් ගණනකගේ පිපාසය සංසිඳුවීම, සනීපාරක්ෂාව සුරක්ෂිත කිරීම, සෞඛ්‍යය නංවාලීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් සාමූහික ප්‍රයත්නයක් බව ද සඳහන් කළාය.

තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියෝග්ලු (R. Demet Şekercioğlu) මහත්මිය මෙසේ පැවසුවේ පසුගිය දා (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරන ලද හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවුණු අතර තුර්කි රජය ඊට උපදේශන සහාය සැපයීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා බලධාරීන්ට සිය හෘදයාංගම සුබපැතුම් පිරිනැමූ තානාපතිනිය මෙම දැවැන්ත ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ප්‍රකට Rönesans Holding සතු කීර්තිමත් සමාගම වන Ballast Nedam සමාගම විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්යභාරය අගය කළාය. සංවර්ධන ව්‍යාපෘති අතර හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සුවිශේෂී ගුණාත්මකභාවය සහ කල්පවත්නා වටිනාකමක් ලබා දීමට මෙම හවුල්කාරීත්වයට හැකි වූ බවද ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලාංකික සගයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ව්‍යාපෘතිය පුරාවට සුවිශේෂී නායකත්වය, කැපවීම සහ විශේෂඥභාවය ප්‍රදර්ශනය කළ තුර්කි ඉංජිනේරු කණ්ඩායමටද තානාපතිනිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හා පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත වේලාවට අවසන් කිරීමේ දී එල්ල වූ අභියෝගවලදී ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ පරාර්ථකාමීත්වය ඇය පැසසුමට ලක් කළාය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම තවත් තුර්කි සමාගම්වලට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සක්‍රීයව සහභාගී වීමට උත්තේජනයක් වනු ඇතැයිද තානාපතිනිය මෙහිදී සිය විශ්වාසය පළ කළාය.

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජීවිතය සශ්‍රීක කිරීමේ පොරොන්දු ඉටු කිරීමක් බව ද ඇය අවධාරණය කළාය.

පුවත්

Most popular