Presidential Secretariat of Sri Lanka

ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍ර‍ය පුළුල් නවීකරණයකට

  • ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වැය කළ මුදල් අධ්‍යාපනයට වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතුයි – Sri Lanka skills Expo 2023 සමාරම්භක අවස්ථාව අමතමින් ජනපති අවධාරණය කරයි.

ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

පසුගිය වසර 10 තුළ දී ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වියදම් කළ මුදල් අධ්‍යාපනය සඳහා වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) පෙරවරුවේ එක්වෙමිනි.

“ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී මැයි 12,13 සහ 14 දිනවල පෙ.ව 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය සියලුදෙනාට නොමිලයේ නැරඹිය හැකිය.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරිමට අගනා අවස්ථාවක් වනු ඇති අතර ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයට ද කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් වු අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පිරිස සමග සුහද කතාබහක නිරත වීමට ද අමතක නොකළේය.

කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර කෘෂිකර්මාන්තයේ දියුණුවට ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැනීම ඇගයීමට ලක් කරමින් ඩ්‍රෝන උපදේශකවරුන් සිව් දෙනෙකු සදහා ලාංඡන පැළඳවීම ද සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳ මම පළමුවෙන්ම සියලුදෙනාට ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. මෙවැනි පුහුණු ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට හැකියාව තිබේ දැයි පසුගිය වසර දිහා බැලූ විට හිතන්නවත් නොහැකි තත්ත්වයක් තිබුණේ. මේ රටේ තිබු කලබලකාරි පරිසරයට අමතරව රටේ ආර්ථිකය කඩා වැටිලයි තිබුණේ. අපි නැවත මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙනවා.

අපට අලුත් අය වැයක් සකස් කරන්න තිබුණා. ඒ වගේම අපේ වියදම් පාලනය කළයුතුව තිබුණා. පසුගිය වසර දහය තුළ මේ රටේ වියදම් දෙස බැලූ විට මට එක කාරණයක් පෙනී ගියා. ඒ අපි අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ නැතිව සමහර රාජ්‍ය ආයතන සදහා මුදල් යොදවා තිබුණා.

අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයට, විදුලිබල මණ්ඩලයට, ඛනිජ තෙල් සංස්ථාවට යොදවනු ලැබූ මුදල් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන රටවල් සමග අපට තරගකළ හැකි වෙනවා. අපි ඒ එකක්වත් කළේ නැහැ. දැන් අපට ණය ගෙවීමට සිදුව තිබෙනවා. මම උත්සහ කරන්නේ ඉදිරි වසර 10තුළ හැකි ඉක්මණින් මේ ණය ගෙවා අවසන් කිරිමටයි.

රටට ප්‍රතිලාභයක් නොලැබුණු තවත් වැඩසටහන් ගණනාවක් තිබුණා අපි තවමත් දන්නේ නැහැ ඒ මුදල්වලට මොකද වුණේ කියලා. නමුත් එවැනි වැඩසටහන්වලට අනාගතයේ මුදල් නොදී සිටිමට අප තීරණය කර තිබෙනවා. අපි පළමුව කළයුත්තේ මෙම අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමයි.

වියදම් අඩු කරනවා කියා අපි අත්‍යාවශ්‍ය වියදම් අඩු කරන්නේ නැහැ. ඉදිරියේ දී අපි සහනාධාර ලබාදීම අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය සහ නිවාස වැනි ජනතාවගේ අත්‍යවශය කටයුතු සඳහා සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට මීට වඩා මුදලක් අපට ඒ සඳහා වෙන් කිරීමට හැකියාව ලැබෙනවා. අපි උත්සාහ කරන්නේ රටේ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය කිරීමටයි.

ඒවගේම හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. මේ අධ්‍යාපන ක්‍රමයේ වැදගත්ම කාරණය තමයි දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම. අපි ජීවත්වන්නේ දැනුම පදනම් කරගත් සමාජයකයි. සියලුදෙනාට අවශ්‍ය ඒ දැනුම ලබාදීමට හැකි නම් රටේ අනාගත දියුණුව තහවුරු වෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකි රටක්. එම නිසා දැනුම ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතුයි. පාසල් අධ්‍යාපනය ලබා දීමෙන් අනතුරුව රැකියා සඳහා සුදුසුකම් සම්පාදනය කිරීමටත් සැලසුම් අවශ්‍යයි. අද සංවිධාන ගණනාවක් ඒ වැඩකටයුතුවල යෙදී සිටිනවා.

අදට අවශ්‍ය ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය වී නැහැ. අපි වසර 10-15ක් පසුපසිනුයි සිටින්නේ. ඒ නිසා අපි දැන් අලුතින් සිතා ඉදිරියට යා යුතුයි. මේ දැනුම ලබාදීම සදහා අවශ්‍ය පුහුණුවීම් කිසිවක් රජයෙන් පමණක් ලබා දිය නොහැකියි. ඒ පුහුණුව හා දැනුම වැඩිවශයෙන් තිබෙන්නේ රජයෙන් පරිභාහිරවයි. එම දැනුම තිබෙන පෞද්ගලික හා විදේශ ආයතන සම්බන්ධකරගෙන අපි වැඩ කළයුතුයි.

මේ වැඩකටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය එක් අමාත්‍යවරයෙකු යටතට පත් කළා. එතුමාට තිබෙන්නේ මේ සම්පුර්ණ ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කර, අදාළ සැලසුම් සකස් කිරිමටයි. අධ්‍යාපනය සඳහා අපි වෙනම කැබිනට් කමිටුවක් පත් කර තිබෙනවා. එසේනම් අධ්‍යාපනයේ නවීකරණය අපි මෙතැන් සිට ආරම්භ කරනවා. අපි අලුත් ලෝකයකටයි ගමන් කරන්නේ.

ඉදිරි වසර දහය ඇතුළත අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වේවි. මොකද නොපෙනෙන අනාගතයකට අපි අධ්‍යාපනය සකස් කළ යුතුයි. ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.මේ පිළිබඳ තරුණ පරපුර විධිමත්ව දැනුවත් කරමින්, අනාගතයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ කර හැකියාවෙන් පරිපූර්ණ සමාජයක් ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් 2024 වසරේ සිට ලබාදීමට අපි කටයුතු කරනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Misukoshi Hidiaki), මහතා ඇතුළු විදේශ තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular