Presidential Secretariat of Sri Lanka

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනපති පවසයි

ව්‍යාපාරික ගැටලු සොයා බලමින් ජනපති හික්කඩුව නගරයේ සංචාරයක

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි. සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ශ්‍රි ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බව ද සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරයක නිරත වු ජනාධිපතිවරයා එහි ව්‍යාපාරිකයින් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.

ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද ගොඩවැඳුණු ජනාධිපතිවරයා එම ව්‍යාපාර කටයුතු පිළිබඳ විමසා බැලු අතර එහිදී ව්‍යාපාරිකයන්ගෙන් ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් හිමි විය.

ජනාධිපතිවරයෙකු මෙලෙස තම ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් ගැටලු සොයා බැලීම සිදු කළේ පළමු වතාවට බව පැවසූ ඔවුහු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළහ.

මේ අතර හික්කඩුව නගරයට රැස්ව සිටී ජනතාවගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

පුවත්

Most popular