Presidential Secretariat of Sri Lanka

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනපති සහභාගිත්වයෙන්

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ සිදු විය.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ඔලබොඩුව රජ මහා විහාරාධිපති, පූජ්‍ය උඩුවේ හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

අනතුරුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව විමසා බලමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත විය.

2023 නවම් මහ පෙරහර පිංකම් මාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙහිදී විශේෂ සමරු සටහනක් ද තැබීය.

ඉන් අනතුරුව ධාතු මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

රටට සහ රටවැසි ජනතාවට සෙත් පතමින් නවම් මහා පෙරහර මංගල්‍යයට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනයක් ද විහාරස්ථානයේ දී පැවැත්විණි. සධාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව දැහැත් පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත් දේශනය සඳහා ආරාධනා කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට එක්ව සිටී ශ්‍රි සුමංගල දහම් පාසලේ දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.

ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරාධිකාරී ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular