Presidential Secretariat of Sri Lanka

මහා ශිවරාත්‍රි දින සුබපැතුම් පණිවිඩය

මහා ශිවරාත්‍රි උත්සවය බැතියෙන් සමරන සමස්ත හින්දු ජනතාවට මාගේ සුභාශිංසන පිළිගන්වමි.

ලොව ජීවත්වන සියලුම ජිවීන් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මෙලෙස ශිවරාත්‍රි දිනයේ දී සිහිපත් කරනු ලබයි.

නිරාහාරව රැය පහන් කරමින් ඔවුන් උපවාසයේ යෙදෙන්නේ “අඳුර දුරලා ආලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනය පෙරදැරිවය. එමෙන්ම එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇත.

මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් සියලු දුක්ඛ දොම්නස්සයන් නිමා වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වේවා යි ! ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

පුවත්

Most popular