Presidential Secretariat of Sri Lanka

ථෙරවාදි බුදු දහම ලෝකයට රැගෙන යාමට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ජනපති පවසයි

“සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28 වන ග්‍රන්ථය ලෙස “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්විණි.

මෙය ග්‍රන්ථ 07කින් සමන්විත වු අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථයයි.

එහි පළමු පිටපත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය 3, සංයුක්ත නිකාය 1, අංගුත්තර නිකාය 3, ඛුද්දක නිකාය 1, ජාතක පාලි 1 යන ග්‍රන්ථ 05 ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

අනතුරුව මහා සංඝරත්නය සමඟ පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ථෙරවාදි බුදු දහම ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගතයුතු තවත් වැදගත් පියවර රැසක් ඇති බවයි.

සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු මෙම ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවන්ට ද පරිවර්තනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ මඟින් ථෙරවාදි බුදු දහම බටහිර රටවලට ද ව්‍යාප්ත කළ හැකි බව පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශය හරහා වෙන්කර දිය හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම සියලු පරිවර්තන සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමෙන් පරිශීලනය ඉහළ නංවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු විධිමත්ව සිදු කිරීම වෙනුවෙන් වෙනම මධ්‍යස්ථානයක් බුද්ධශාන අමාත්‍යාංශයට ඒකාබද්ධව ආරම්භ කිරීමේ හැකියාවද පැහැදිලි කළේය.

අභිධර්ම පිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම අභිධර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බවත් එහි ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ථෙරවාදි බුදු දහම රැකගත් මහා විහාරයේ කැණීම් කටයුතු අවසන් වූ පසු නාලන්දා විශ්වවිද්‍යාලය මෙන් මහාවිහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය නියෝජනය කරමින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක, රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති නාහිමිපාණන් වහන්සේ, රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාර්යප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

Most popular