Presidential Secretariat of Sri Lanka

75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දීය රජයෙන් බස් රථ 500ක් එහි දෙවන අදියර යටතේ බස් රථ 50ක්- සංකේතාත්මක ජනපතිට භාර දෙයි

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබීය. තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.

ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම උදෙසා දිවයින පුරා සියළුම ඩිපෝ හරහා මෙම බස් රථ ධාවනයේ යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාධිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීහු සහ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular