Presidential Secretariat of Sri Lanka

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතාගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙරට දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතාගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (17) පස්වරුවේ එක් වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දැරියන් දෙදෙනකු විසින් මෙරට අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු ආකාරය පිළිබඳ සම්පාදනය කරන ලද සැලැස්මක් ද එතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
එච්. එස් සරත් මහතා සමඟ මගේ සම්බන්ධය දශක හතරකට වැඩි කාලයක් වෙනවා. මා යෞවන කටයුතු හා අධ්‍යපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙතුමාගේ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට සහභාගි වුණා. ඒ වගේම යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩවලටත් ඔහුව සහභාගි කරවා ගත්තා. චිත්‍ර කලාව පිළිබඳ එතුමාගේ ඇති දක්ෂතාව ඒ තුළින් හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේදී මම එච්. එස් සරත් මහතා ගෙන් ඇහුවා ඇමතිතුමාගේ කාර්යාලයට චිත්‍රයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. එදා ඔහු සැළලිහිණි සංදේශය පිළිඹිබු කෙරෙන විශාල චිත්‍රයක් ලබා දුන්නා. මම දන්න විදිහට අවාසනාවට අද එම චිත්‍රය අමාත්‍යාංශයේ නැහැ. විශාල මුදලකට දවසක අළෙවි කළ හැකි නිසා එය කවුරු හරි ගෙදර ගෙනිහින් තියා ගෙන ඇති. කෙසේ වෙතත් එච්. එස් සරත් මහතා විවිධ ආකාරයේ වැඩ කටයුතුවලට සහභාගි වුණා. ඔහුගේ දක්ෂතා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නෑ. මේ චිත්‍ර බැලුවම එය වටහා ගත හැකියි.

ලබන වසරේ තමයි අපේ 75 වැනි නිදහස් සංවත්සරය පැවැත්වෙන්නේ. සරත් මහතා වගේම දක්ෂ තරුණ චිත්‍ර කලාකරුවන් සිටිනවා. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, අනෙකුත් චිත්‍ර ශිල්පීන් ද හවුල් කර ගනිමින් එම තරුණ පිරිස එකතු කර ගෙන දැවැන්ත චිත්‍ර තරඟයක් සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට මම හිතුවා. සුදුසු ස්ථානයක මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන්. ඒ තුළින් එච්. එස් සරත් මහතා මෙන් තවත් දක්ෂ චිත්‍රශිල්පීන් අපේ රට තුළ බිහි වේවි.

මෙම අවස්ථාව සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 18, 19 සහ 20 තෙදින කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

පුවත්

Most popular