Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.

ඩොනල්ඩ් ලූ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ය.

මෙම හමුව අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් (Julie Chung) , දේශපාලන හා ආර්ථික උපදේශක සුසන් වෝක් (Susan Walke) යන මහත්මීහු ද ඊට එක්ව සිටියහ.‍

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.
ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනැමූ සහකාර රාජ්‍ය ලේකම්වරයා, අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසීය.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම අපේක්ෂාව බව සඳහන් කළ ඩොනල්ඩ් ලූ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය ද ඇගයීමට ලක් කළේය.

පුවත්

Most popular