Presidential Secretariat of Sri Lanka

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතුයි. ජනපති අවධාරණය කරයි.

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්ත්වයන් නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

“කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.
දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර මේ වනවිටත් සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාමීය මට්ටමින් ග්‍රාමීය

ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බවත්, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් අනාවරණය විය.

ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළව වගා කටයුතු කරගෙන යාමේදී පවතින බාධක සහ ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඉන්ධන සහ පොහොර සපයා ගැනීම, ඉඩම් ගැටලු, බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු විය.

දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මකවීමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරිපත් කළ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම උදෙසා ග්‍රාමීය මට්ටමින් සිදු කළයුතු බෝග වගාවන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම තොරතුරු මත පදනම්ව ආහාර බැංකු (food bank) සහ ප්‍රජා මුළුතැන් ගෙය (Community kitchen) යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

2023 වසර දක්වා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කර ජනතාවගේ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආර්ථික අර්බුදයට සූදානම් වීමට මෙම වැඩසටහන උපයෝගී කර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.
සති 03කින් පසු සතියකට වරක් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුතින් වගා කරන පිරිස් සඳහා ඉඩම් ලබාදීම කඩිනම් කිරීම සහ ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරි වැසි සමය නව බෝග වගාවන් සඳහා සුදුසු වන අතර ප්‍රමාදයකින් තොරව ඒ සඳහා යොමුවීමට ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පැහැදිළි කළේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular