Presidential Secretariat of Sri Lanka

ලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සුබපැතුම් පණිවිඩය

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි.

ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවකි. එබැවින් ගුරු සේවාව වෘත්තියක්ම නොව සේවයකටත් එහා ගිය වගකීමක් බව පොදු පිළිගැනීම වන අතර ගුරුවරයා සමාජයෙහි ඉහළින්ම ඔසවා තබා ඇත්තේ ඒ නිසාමය. අප ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ එතරම් අභිමානවත් මෙහෙවරක නියැලෙන ගුරුවරයාට උපහාර පුද කිරීමටය.

ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස අප බැඳි සිටින්නෙමු. දේශපාලනය මත ගුරු පත්වීම් ලබාදීම අත්හිටුවා විද්‍යාපීඨ ක්‍රමය ඇති කිරීමටත්, ගුරුවරයාට දියුණු ලෝකය සමග මුසුවීමේ අවස්ථාව සලසමින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් එදා මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පියවර ගත්තේ ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කිරීම උදෙසාම බව සිහිපත් කරමි.

රජය දරුවන් වෙනුවෙන් පැහැබර අනාගතයක් සැලසුම් කරමින් සිටින මෙම අවස්ථාවේ ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීමට උරදී සිටින ගුරවරුන් තම වගකීම් නිසි ලෙස ඉටුකරනු ඇතැයි මම අපේක්ෂා කරන අතර සමස්ත ගුරු භවතුන්ට අර්ථවත් ගුරු දිනයක් වේවා යි සුභාශිංසනය කරමි.

පුවත්

Most popular