Presidential Secretariat of Sri Lanka

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් ආසියානු සංවර්ධන බැංකුවට යෝජනාවක්

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා අතර හමුව අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියනු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළේය.

ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා විසින් පිළිගනු ලැබීය.

පසුගිය කාලය තුළ ආසියනු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවට සභාපතිවරයා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කරනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියනු සංවර්ධන බැංකුවේ සේවයේ නියුතු වෘත්තිකයන් සමග ද සාකච්ඡාවක නිරත විය.

පුවත්

Most popular