Presidential Secretariat of Sri Lanka

ලංකාවේ ලියාපදිංචි ප්‍රථම සිංහල පුවත්පත “ලක්මිණි පහන” අරඹා වසර 160යි

ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.

ගාල්ලේ ගුණතිලක අතපත්තු සල්පිටි කෝරළයේ මුදලිතුමන්ගේ මූලිකත්වයෙන් හා රත්මලානේ පරම ධම්ම චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ මා හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් ඇරඹි මෙම පුවත්පතේ කර්තෘ පදවිය දරා ඇත්තේ එකල අප රටේ සිටි ප්‍රසිද්ධ උගතෙකු වූ කොග්ගල පඬිතුමා විසිනි.

පිටු හතරකින් යුත් මෙම පුවත්පතේ මිල සඳහන් කර ඇත්තේ එකල භාවිත මිල ගණන් අනුව පනමකට ය. කොළඹ පදිංචිකරුවෙකු වු ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් පෙරේරා මහතා මෙහි ප්‍රකාශකයා වූ අතර මුද්‍රණය කර ඇත්තේ කොළඹ වුල්පෙන්දල් වීදියේ අංක 77 දරණ ස්ථානයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයකය.

පසු කලෙක මෙම පුවත්පත කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කාරකත්වයෙන් වසර ගණනාවක් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය වසර කිහිපය තුළ “ලක්මිණි පහන” පුවත්පත මාතර දික්වැල්ලේ වැවුරුකන්නල මහා විහාරස්ථානයේ වැඩ විසූ එහි විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පූජ්‍යපාද ආචාර්ය දික්වැල්ලේ තිස්ස මා හිමිපාණන් වහන්සේ පසුගියදා අපවත් වන තෙක් සිය සංස්කාරකත්වයෙන් පවත්වාගෙන ගියහ.

සිරිලක මාධ්‍ය කලාවේ, පුවත්පත් ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් වන “ලක්මිණි පහන” පුවත්පතට අදට වසර 160ක් සම්පූර්ණ වීම ඓතිහාසික සිද්ධියකි.

පුවත්

Most popular