Presidential Secretariat of Sri Lanka

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුද්‍රණය කරනු ලබන පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

විවිධ රාජ්‍ය ආයතන විසින් රජයේ සේවාවන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පොදු ආකෘති 98ක් දැනට භාවිත කරන බව නීරීක්ෂණය කර තිබේ. ඉන් ඇතැම් ඒවා යල් පැන ගොස් ඇති අතර වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම මෙහි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රයෝජනය සඳහා දැනට මුද්‍රණය කරනු ලබන සියලුම ආකෘති පත්‍ර සමාලෝචනය මෙම කමිටුව මගින් සිදු කෙරේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එච්.එස්. පුල්ලේපෙරුම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) යූ.අයි.ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.

කමිටුවේ කාර්යභාරය පහත පරිදි වේ.

1- රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් දැනට මුද්‍රණය කර ඇති සියලුම සාමාන්‍ය පෝරම සමාලෝචනය කිරීම

2- භාවිතය අවම පොදු ආකෘති සහ අනවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීම

3- A4 ප්‍රමාණයේ කඩදාසිවල මුද්‍රණය කළ හැකි, දැනට එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයේ කඩදාසිවල මුද්‍රණය කරනු ලබන පොදු ආකෘති පත්‍ර හඳුනා ගැනීම

4- මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන නමුත් බාගත කර ගැනීමේ පහසුකම ද සමඟ අදාළ වෙබ් අඩවිවල පළ කළ යුතු පොදු ආකෘති පත්‍ර හඳුනා ගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම

5- යල් පැන ගිය පොදු ආකෘති, යෝජිත ආකෘතිය (අන්තර්ගතය සහ ප්‍රමාණය) සහිත සංශෝධිත ආකෘති සහ අදාළ ආයතනයන්හි වෙබ් අඩවිවල පළ කළ යුතු ආකෘති පත්‍ර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම

තවද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කමිටු නිර්දේශ 2022 නොවැම්බර් 15වන දින හෝ ඊට පෙර ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී තිබේ.

පුවත්

Most popular