Presidential Secretariat of Sri Lanka

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

දළදා සමිඳුන් වැද පුදා ගැනීම සඳහා ජනාධිපතිතුමන් මාළිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මහනුවර නගරාධිපති කේසර සේනනායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගෙන දළදා මැඳුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.

එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද පස්වරුවේ මල්වතු – අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දැකීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ගුණතිලක රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු ඇමති නවීන් දිසානායක, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ, ගම්පොළ නගරාධිපති සමන්ත අනුරකුමාර යන මහත්ම මහත්මීහු ප්‍රමුඛ මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් රැසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-30

පුවත්

Most popular