Presidential Secretariat of Sri Lanka

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා – ඕමාන තානාපති ජනපතිට කියයි

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල් මලික් අල් ශෙහ්හි (Juma Hamdan Hassan Al Malik Al Shehhi) මහතා ජනාධිපතිතුමා සමඟ පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරත ව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මලික් අල් ශෙහ්හි මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබී ය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සිට ද කටයුතු කරන බව ශෙහ්හි මහතා ජනාධිපතිතුමා සමඟ සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියේය.

පුවත්

Most popular