Presidential Secretariat of Sri Lanka

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න.” ජනපති කියයි.

* වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් …

* විදේශ රැකියා ඉලක්ක කොට සේවක පුහුණුවට පියවර…

* රුසියානු ගුවන් සමාගම සමඟ සාකච්ඡා සාර්ථකයි…

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (09) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කොළඹ වරාය ලොව ප්‍රමුඛ පෙළේ සියලු ම නැව් සමාගම් සමඟ මෙහෙයුම් කරයි. පාලන අධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කිරීමෙන් එය ආරක්ෂා කර ගත යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

නීති උල්ලංඝනය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේදී අක්‍රමිකතා සිදු වන බව අනාවරණය වී ඇත. සතොස, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මඟින් එම භාණ්ඩ අලෙවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයා ගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදෙස් රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

අර්බුදයට මුහුණ දුන් රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමඟ අවබෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය සාර්ථකව සමථයකට පත් කර ගැනීමට හැකි වෙතැයි නිලධාරීහු විශ්වාසය පළ කළහ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ දැඩි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්වන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු සහ රේඛීය ආයතන නිලධාරීහු සාකච්ඡාවට එක් ව සිටියහ.

පුවත්

Most popular