Presidential Secretariat of Sri Lanka

මැයි දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම  අභියෝගයට ලක්ව සිටින අවස්ථාවකය.

අපේ රටේ පසුගිය වසර තුන තුල වඩාත් අභියෝගයට ලක්වූයේ ද කම්කරු ප්‍රජාවය. ඒ සෑම අභියෝගයක් හමුවේ නොසැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහුමය. ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍රරය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අප විවිධ එළැඹුම්වලට යොමු වෙමින් සිටි.

විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමනාකරණය කිරීම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මගය.

පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමය. එසේම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමය.

රාජ්‍ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට එක්ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරයම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයය.

මෙවර කම්කරු දිනයේ දී සියලු දෙනා එක්ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.

වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක්වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා මා ඔබ සමග එක්වන්නේ එකී අපේක්ෂා සමගය.

ගෝඨාභය රාජපක්ෂ

පුවත්

Most popular