Presidential Secretariat of Sri Lanka

පාස්කු දින පණිවුඩය

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සනිටුහන් කරමින් පවත්වනු ලබන පාස්කු මංගල්‍යය, ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාව විසින් සමරනු ලබන උත්කර්ෂවත් ආගමික උත්සවයකි.

පාස්කු මංගල්‍යය යනු, සිත් තුළ ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුන් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශනය වීමකි. එය බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් ලෝකයේ අන්ධකාරය සහ අපේක‍්‍ෂා භංගත්වය තුරන් කිරීම සඳහා ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ උකුත්වීම සහ උත්ථානය පිළිබඳ පණිවුඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරයි.

ජේසුස් වහන්සේගේ උතුම් ඉගැන්වීම් අපට මතක් කර දෙන්නේ, බලාපොරොත්තුවේ ආධාරයෙන් අවිශ්වාසය සහ අවිනිශ්චිතතාවය පරාජය කරමින්, මුළු ලොවට ම ප්‍රේමය හා කරුණාව දැක්විය යුතු බව ය. අප ජීවිතවල අඳුරු හා බලාපොරොත්තු සුන් වූ අවස්ථාවන්හිදී පවා පාස්කු මංගල්‍යයේ මෙම පණිවුඩය අපට බලාපොරොත්තුව සහ ධෛර්යය ලබා දෙයි. තම ජීවිත මෙන් ම ලෝකය තුළ අවිශ්වාසයේ සහ පාපයේ අන්ධකාරය හේතුවෙන් පැන නැඟී ඇති අභියෝග ජය ගැනීමට පාස්කු මංගල්‍යයේ ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය අප සැමට ආරාධනා කරයි.

අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික විනය පසුගිය වසර දෙක තුළ ගෝලීය වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වූ බවත්, ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකි වී තිබීම හේතුවෙන් අපගේ කිතුනු සහෝදර සහෝදරියන්ට මෙවර පාස්කු මංගල්‍යය සුපුරුදු ලෙසින් සැමරීමට හැකි වන බවත් මාගේ විශ්වාසයයි.

එසේ වුව ද, තෙවසරකට පෙර සිදු කරන ලද ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඛේදනීය අත්දැකීම අපගේ සිත් තුළ තවමත් පවතී. එබැවින්, නිසි අයුරින් හා නියමිත පරිදි සිදු කරනු ලබන විමර්ශන මඟින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියලු වින්දිතයන් වෙත යුක්තිය ඉටු කිරීමටත්, එම ප්‍රහාරය සඳහා වග කිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අපගේ රජය කැප වී සිටින බවට මම අවධාරණය කරමි.

සාමය, ධෛර්යය සහ බලාපොරොත්තුව යන ආධ්‍යාත්මික ත්‍යාගයන් මඟින් සියලු දෙනාගේ ජීවිත සාරවත් කරනු ලබන ප්‍රීතිමත් සහ ආශීර්වාද ලත් පාස්කු මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ
2022 අප්‍රේල් මස 12 වන දින

පුවත්

Most popular