Presidential Secretariat of Sri Lanka

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට සිදු වී තිබේ. අප එය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුවය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු.

කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමඟය.

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදී වන බව මම දනිමි.

එසේම, අවුරුදු අසිරිය අත්විඳීමට දූ දරුවන් සමග එක්වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන්ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි.

ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ
2022 අප්‍රේල් මස 12 වන දින

පුවත්

Most popular