Presidential Secretariat of Sri Lanka

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක්

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිරිපත් කරයි.

උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවෙමින් යෝජනා මාලාව ඉදිරිපත් කෙරිණ.

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුව මාර්තු 15 වනදා ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබීය.

  1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
  2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
  4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
  5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබේ. විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ ය. මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයක දී මගහරවා ගත හැකි බව උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular