Presidential Secretariat of Sri Lanka

පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි අක්තපත්‍ර ප්‍රදානය ජනපති, අගමැති සහභාගීත්වයෙන්

පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාම සහිත  දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමේ.

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද (20) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන් ඉටු කරන ශාසනික, ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත ගෞරව නාම සහිත අභිනව නායක පදවිය පිරිනමා ඇත.

අභිනව නායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්විණ.

විජිණිපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගන්වනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ.

මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශේෂ දේශන සිදු කළහ.

අභිනව නාහිමියන්ගේ චරිතාපදානය අලළා රචිත උපහාර ග්‍රන්ථය සහ උන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් කර සම්පාදිත ග්‍රන්ථ කිහිපයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.

58 වසරක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරන පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ‍ කොළඹ 06, හැව්ලොක් සිටි සාම විහාරය, හක්මණ බේරුවේවෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය, හක්මණ ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය, හක්මණ දෙනගම ශ්‍රී මුණසිංහාරාම විහාරය යන සිව් මහා විහාරස්ථානයන්හි අධිපතීත්වය දරති. කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙකු ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කර විශ්‍රාම ලැබූ උන්වහන්සේ ප්‍රසිද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් ද වෙති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දායක සභාව, නාහිමියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular