Presidential Secretariat of Sri Lanka

අතිගරු ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය

 සශ්‍රීක කෘෂි කර්මාන්තය රැකදුන් සූර්ය දෙවියන්ට කෘතවේදීත්වය පළ කරන තෛපොංගල් උළෙල හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි.  ලොව පුරා වෙසෙන හින්දු බැතිතුමන් සමඟ  ඒ වෙනුවෙන් කැප වී සිටින අපගේ සහෝදර ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

තෛපොංගල් උළෙල සාම්ප්‍රදායික හා සාර්ථක ලෙස පැවැත්වීමෙන් අනාගතයේ සරුසාර අස්වැන්නක් සඳහා සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙන බව හින්දු ජනතාවගේ විශ්වාසයයි.

සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් විසින් පවත්වන චාරිත්‍ර
ශ්‍රී ලාංකික ජන සමාජයට අනාදිමත් කාලයක සිට ඉතා සමීපය. කෘෂි ආර්ථිකය මත පදනම් වූ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික ජනයා තෛපොංගල් උළෙල දෙස බලා සිටින්නේ අප්‍රමාණ ගෞරවයෙනි.

සොබාදහමට අනුකූල ජීවන රටාවත් සමඟ සශ්‍රීකත්වය කරා අප පියවර තැබිය යුත්තේ හරිත කෘෂි කර්මාන්තය මත පදනම්වය. එබැවින්, හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙම තෛපොංගල් සමය දැඩි උද්‍යෝගයක් සපයන බව මම තරයේ විශ්වාස කරමි.

මෙම වසරේදීත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔබත්, ඔබේ ආදරණීයයනුත් ආරක්ෂා වන පරිදි තෛපොංගල් සැමරීමට ඔබ සියලු දෙනා අවස්ථාව සලසා ගත යුතුවේ.

සුරක්ෂිත දේශයක සෞභාග්‍යය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැප වී සිටින ඔබට, සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය නිතැතින් උදා වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ

2022 ජනවාරි මස 13 වන දින

පුවත්

Most popular