Presidential Secretariat of Sri Lanka

“මිත්තානිසංස” කෘතිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන් …

පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශාසන දිවිය අලළා රචිත “මිත්තානිසංස” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ.

උන්වහන්සේගේ ශාසන දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් විචිත්‍ර ධර්ම කථික, බොරැල්ලේ කෝවිද හිමියෝ කෘතිය සංස්කරණය කළහ. එහි මුල් පිටපත ජනාධිපතිතුමා විසින් පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමියන් වෙත අද (22) පෙරවරුවේ රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ දී පිළිගැන්විණ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ අනුශාසනාව සිදුකරමින් පවතින වසංගත තත්ත්වය හමුවේ රජය සිදුකරන දැවැන්ත සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව මීට වඩා දැනුවත් විය යුතු බව සඳහන් කළහ.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය නිසා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳින මානසික සැනසිල්ල ඉමහත් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනතුරුව පැවති  දානමය පුණ්‍යකර්මයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

මහානායක අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular