Presidential Secretariat of Sri Lanka

තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනපති අවධාරණය කරයි.

  • මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැහැ ….
  • ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි …

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටී. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළයුතුය. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බව ද පෙන්වා දුන්නේය. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිඳු හේතුවක් නැති බවත්, මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය ද සිදුකළ හැකි බවත් ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති අතර උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට  ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය. ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද පැවසීය.

අද පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය යි.

ආරක්ෂක අධ්‍යනය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, සම සෞඛ්‍ය විද්‍යාව සහ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1408 දෙනෙකු සඳහා උපාධි පිරිනැමින. ආචාර්ය උපාධිධාරියෙකු, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1180කි.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරී එස්.එච්. රොද්‍රිගු, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් එස්.ඩී. කරුණාසේන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී එස්.කේ.එස්. රුක්ෂාන්, අතිශූර නිලධාරියා ලෙස ලුතිතන් එල්.ඩී.අයි. ලියනාරච්චි යන නිලධාරින් ජනාධිපතිතුමා අතින් තිළිණ ලැබූහ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමට ස්ථාපිත කෙරිණි. වර්ෂ 2009 දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබීය. වර්ෂ 2009 දී සිවිල් සිසුන්ට ද උපාධි හැදෑරීමට  අවස්ථාව හිමි විය. වර්තමානයේ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝම පාඨමාලා හැදෑරීමට ත්‍රිවිධ හමුදා සහ දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව සැලසී ඇත.

වර්තමානය වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ අන්තර්ජාතික විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ආරක්ෂක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු,  පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යදන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ  උපාධි ප්‍රදානෝත්සයේදී
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාව

මෙම සන්ධ්‍යාවේ, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ඔබ ඇමතීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙමි.

තම අධ්‍යයන කාලය තුළ දැඩිව වෙහෙස වී මෙම උත්සවයේ දී උපාධිධාරීන් බවට පත්වන සියලුම ශිෂ්‍යයන් හට මම සුබ පතන අතරම ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරමි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂි ආයතනයකි. ආරම්භයේ දී, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට වැඩිදුර පුහුණුව ලබාදීම සඳහා පිහිටුවනු ලැබුව ද, වර්තමානයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදා නිලධාරීන්ට මෙන්ම සිවිල් සිසුන්ට ද තෘතීයික අධ්‍යාපන සඳහා අවස්ථාව සලසා ඇත.

උපාධි වැඩසටහන් කිහිපයක් සඳහා විදේශ සිසුන් අතර ද මෙම විශ්වවිද්‍යාලය ආකර්ෂණයක් වී ඇත.

වර්තමානයේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ වඩා හොඳ තෘතීයික අධ්‍යාපනය සලසන ආයතන අතුරින් එකක් ලෙස කීර්තියක් උසුලන අතර, මෙමගින් බිහිකරනු ලබන උපාධිධාරීන් තමන් තෝරාගත් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අති දක්ෂයින් ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බිහි කරන උපාධිධාරීන් ඔවුන්ගේ නායකත්ව කුසලතා, කණ්ඩායම් කුසලතා, අඛණ්ඩතාව සහ දේශප්‍රේමය සඳහා කීර්තිමත් වන අතර සේවා යෝජකයින් අතර මෙම කුසලතාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

මෙම ආයතනයට සම්බන්ධ අයට සහතික කළ හැකි පරිදි මේ මට්ටමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්කරලීමේ දී අභියෝග නොමැති වුවා නොවේ. අදටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එරෙහිව ඇතැම් පිරිස් විරෝධතා මතුකර තිබෙනවා.

එම කණ්ඩායම් වලට අවශ්‍ය වී ඇත්තේ වසර ගණනාවක් පුරා දැනටමත් දහස් ගණනක් ශ්‍රී ලාංකික සිසුන්ට ප්‍රතිලාභ ලබා දී ඇති වැඩපිළිවෙළ අකර්මන්‍ය කරලීමටයි.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පසුපසට ගෙන ගිය මෙම ආකල්පය මට තේරුම් ගත නොහැක.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට අනුගත වී නොමැති බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් ලබාදෙන අධ්‍යාපනයෙහි සහ 21 වැනි සියවසේ අප රට සංවර්ධනය වීමට අවශ්‍ය කරන කරුණු අතර නොගැලපීමක් තිබේ.

විශේෂයෙන්ම, අපේ තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ විය යුතු බවට මා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මේ නිසාය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදැරුව ද, ඔවුන් සියලු දෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බවට මම තරයේ විශ්වාස කරමි.

අවම වශයෙන්ථ ඔවුන්ට පරිගණකයක් සමග වැඩ කිරීමේ යම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාවත් තිබිය යුතුය. වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු තීක්ෂණ චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ද එයට ඇතුළත් ය.

මෙම ප්‍රතිසංස්කරණ වලින් කිහිපයක් දැනටමත් අපගේ  විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ලබන වසරේ තවත් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට නියමිත බව සතුටින් සඳහන් කරමි.

මෙම ප්‍රතිසංස්කරණ මගින් අපගේ විශ්වවිද්‍යාල සිසුන් උපාධිධාරීන් වූ පසු ඵලදායී පුරවැසියන් වීමට අවශ්‍ය නිපුණතා සහ කුසලතාවලින් ඔවුන් සන්නද්ධ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි.

ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන ස්ථාන සංඛ්‍යාව දස දහසකින් වැඩි කිරීම මගේ ජයග්‍රහණවලින් එකකි.

කෙසේ වෙතත්, මෙම වැඩිවීමෙන් වුවද, උසස් පෙළ සමත් වුවද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටිනු ඇත.

මෙයට හේතුව වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සියලුම සිසුන්ට අවස්ථාවට ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීමයි.

මෙම විශ්වවිද්‍යාල ස්ථාන නොමැතිකමේ ප්‍රතිවිපාක බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවාට වඩා පුළුල් කරුණකි.

එය සමස්ත අධ්‍යාපන ක්‍රමය පුරාවටම අවස්ථා නිරන්තරයෙන් පටු වීමට හේතු වී ඇත.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ සිසුන් සාර්ථක වීමට උපකාර කිරීමට වඩා අසමත් වීමට වැඩි ඉඩක් නිර්මාණය වන ලෙස පද්ධතිය සැලසුම් කිරීමයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නමුත් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් නොලබන විශාල සංඛ්‍යාවක් තුළින් අප මෙය දකිනවා.

සෑම වසරකම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදේශ රටවලට යන විශාල සංඛ්‍යාවෙන් එය අපට පැහැදිලි වේ.

එසේ කිරීමෙන් මෙම සිසුන්ගේ දෙමාපියන්ට විශාල වියදමක් දැරීමට සිදු වෙනවා පමණක් නොව, රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන අතර, වඩාත්ම කනස්සල්ලට කරුණ නම්, උපාධිය ලැබීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවට බොහෝ විට දක්ෂ තරුණයින් විදේශගතව ජීවත් වීමට තීරණය කිරීමෙන් අප රටට ඔවුන් අහිමි වීමයි.

මුදල් අතින් අඩුපාඩුකම් සහිත දෙමාපියන් සිටින සිසුන් වෙනත් විවිධ පාඨමාලා හැදෑරීමට යොමුවේ. මෙම පාඨමාලා ශ්‍රී ලංකාවේ පවතින නමුත් විශ්ව විද්‍යාල මගින් සපයනු ලබන පරිපූර්ණ අධ්‍යාපනය එමගින් ලබා නොදේ.

බහුතරයක් වැඩිදුර අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අත්හැර දමා අවසානයේ තමන්ට සොයා ගත හැකි ඕනෑම අඩු වැටුපක් සහිත රැකියාවක් වෙත යොමුවේ.

අවාසනාවන්තම දෙය නම්, අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ඉහළ ගෞරවය නිසා,මෙම සිසුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එසේත් නැතිනම් ඉදිරි වසර ගණනාවක් පුරා තමන් අසාර්ථක පුද්ගලයන් ලෙස සිතීමට පෙළඹිය හැකිය.

මෙම කුරිරු තත්ත්වය දිගටම පවත්වාගෙන යාම කිසිසේත් පිළිගත නොහැකිය.

අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළ යුතුයි.

මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත්ම හේතුවක් නැත.

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවේ.

බොහෝමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇත.

එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකිරීමට කිසිසේත්ම හේතුවක් නැත.

මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම්, එය සිදුකළ හැකිය.

සාම්ප්‍රදායික ආකල්ප එවැනි ආයතන පිහිටුවීමට බාධා කරන්නේ නම් එවැනි ආකල්පයන්ට දැඩි ලෙස අභියෝග කළ යුතුය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන ‘උපාධි විකුණන අධ්‍යාපන කඩ’ බවට පවතින පැරණි විරෝධතා වල කිසිදු අර්ථයක් නොමැත.

අපගේ තරුණ තරුණියන්ට පවතින අවස්ථා සීමා කිරීම සඳහා අසාධාරණ ලෙස භාවිතා කරන අතීතයට අයත් මෙම යල්පැනගිය පදනමක් නොමැති කතාවලින් ඔබ්බට අප සිතිය යුතුය.

අපි දැන්ම මෙය සිදුනොකළහොත් තවත් ශිෂ්‍ය පරම්පරා ගණනාවකට මෙම පටු ආකල්ප නිසා අනවශ්‍ය ලෙස දුක් විඳීමට සිදුවනු ඇත.

මෙය සිදුවීමට ඉඩදීමට මම සූදානම් නැහැ.

රාජ්‍ය අංශයෙන් පරිබාහිරව පිහිටුවා ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනීමට සිසුන්ට මුදල් ගෙවිමට සිදුවිය හැකිය යන්නෙන් අදහස් වන්නේ එම ආයතන උපාධි විකුණනවා යන්න නොවේ.

මෙවැනි දුර්වල හේතූන් මත රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල පිහිටුවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නොව; එය අපරාධයකි.

රාජ්‍ය ප්‍රතිපාදන හෝ ස්වයං අරමුදල් මත පාලනය වන යන භේදයකින් තොරව සියලුම විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය විය යුතුය.

තවද, ගාස්තුවක් අය කරන ඕනෑම විශ්ව විද්‍යාලයක් එහි ගුණාත්මක භාවය පවත්වාගෙන යාමට අපොහොසත් වේ නම්, එම ආයතන කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් අභාවයට යනු ඇත.

උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොලේ අවස්ථා ලබා දීමට හැකියාවක් නොමැති විශ්ව විද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇත.

සිසුන් සංඛ්‍යාව අඩු වන විට, එහි ප්‍රමිතිය පවත්වා නොගන්නා ඕනෑම විශ්ව විද්‍යාලයක් වැසී යනු ඇත.

ශ්‍රී ලංකාවේ තවත් විශ්වවිද්‍යාල පිහිටුවීමට ඉඩ ලබාදීමෙන් සෑම තරාතිරමකම සිසුන්ට මෙන්ම කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සඳහා ද එවැනි ආයතන අතර ඉහළ තරගයක් නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකාවේ තවත් විශ්ව විද්‍යාල පිහිටුවීමට දැඩි විරෝධයක් දක්වන අයට එවැනි තරඟකාරී පරිසරයක් තුළ සාර්ථක වීමට ඇති හැකියාව ගැන තමන් පිලිබඳව විශ්වාසයක් නොමැත.

ඔවුන්ගේ විරෝධතා ඉවතලා, හැකිතාක් ඉක්මනින් මෙම නව අවස්ථා නිර්මාණය කරන තරමට, අපගේ සිසුන්ට සහ අප රටට යහපතක්ම සිදුවනු ඇත.

දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල මඟින් සපයනු ලබන සේවාවෙන් සහ අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය විවිධාකර සහ තරඟකාරී තෘතීයික අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ අප සතු නම්, එය විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇති සිසුන්ට හෝ වෙනත් රටවල විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා ගන්නා සිසුන්ට මෙරට රැඳී සිටීමට පවා දිරිගැන්වීමට හේතුවක් වනු ඇත.

රට තුළ තෘතීයික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවදුරටත්

ඉහළ නංවා ගත හැකිය.

මෙය, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවලින් සහ ඉන් ඔබ්බට පිහිටි අනෙකුත් රටවල සිට පවා ශ්‍රී ලංකාවට සිසුන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත.

කාලයාගේ ඇවෑමෙන්, මෙය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට ශක්‍ය විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනටමත් අනෙකුත් රටවලට වඩා දශක ගණනාවක් පිටුපසින් සිටීම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත්, මෙම වෙනස සිදු කිරීමට තවමත් ප්‍රමාද නැත.

රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස සිදුකිරීමටයි.

අතීත භාවිතයන්, සම්ප්‍රදායන් හෝ යල් පැන ගිය නීති සහ රෙගුලාසි හේතුවෙන් පවතින තත්ත්වයන්ට සීමා නොවී අපගේ හොඳම සහ දීප්තිමත් සියලු දෙනා වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කළ යුතුය.

අද මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනාම මෙම යථාර්ථය තේරුම් ගෙන ඉදිරි කාලය තුළ මෙම වෙනසට සහයෝගය දැක්වීමට ඔබේ උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අපේ රටටත් අපේ අනාගත පරපුරටත් යහපත් හෙටක් ගොඩනඟා ගැනීමට අපි සැවොම එක්ව කටයුතු කරමු.

ඔබට ස්තුතියි!.

පුවත්

Most popular