Presidential Secretariat of Sri Lanka

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය වාහන 164ක් ජනපති අතින් රාජ්‍ය ආයතනවලට ….

  • ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට යතුරුපැදි 150ක් ….

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක් , ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව ගිලන් රථ 50 සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ලබාදීම සිදු වූ අතර ජල බවුසර් සහ ඩබල් කැබ් රථ වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රදානය කෙරිණි.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක යන අමාත්‍යවරුන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමිය සහ  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය (JICS) යටතේ පිරිනැමුණු යතුරු පැදි 150ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

පරිත්‍යාග කරන ලද මෙම යතුරු පැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.

ජනාධිපතිතුමා විසින් මෙම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular