Presidential Secretariat of Sri Lanka

ද්විපාර්ශ්වීයව ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි – ජනපති ඉන්දීය විදේශ ලේකම් සමග කියයි

ජනපති ඉන්දීය විදේශ ලේකම් සමග කියයි.

  • දෙරට අතර 60 සහ 70 දශකවල පැවති සබඳතාව යළි ගොඩනගමු..
  • ඉන්දියන් සාගරය සාම කලාපයක් බවට..
  • ශ්‍රී ලංකාවේ ස්ථාවරයට ඉන්දීය සහාය අවශ්‍යයි..
  • ඉන්දීය ආයෝජකයන්ට විවෘත ආරාධනයක්..

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, කරුණු දීර්ඝව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිතුමා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

අතුරුදහන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුලු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ජනාධිපතිතුමා ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

පුවත්

Most popular