Presidential Secretariat of Sri Lanka

හල්දුම්මුල්ලට සංවර්ධනයේ අරුණළු

බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, පොදු පහසුකම් අඩු සහ බහුතරයක් දිළිඳුකමින් පීඩිත ජනගහණයක් සහිත හල්දුම්මුල්ල ප්‍රදේශයේ වෙලංවිට සහ අක්කර සීයය ගම්මාන දැන් වේගවත් සංවර්ධන අවදියකට පිවිස තිබේ.

යෝජිත සංවර්ධන සැලැස්මෙන් අත්කර ගැනීමට අපේක්ෂිත ඉලක්කවලින් බහුතරය දැනටමත් සපුරා ගෙන ඇත. ඉතිරිය ඉදිරි දෙමස තුළ සාක්ෂාත් කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

48,000ක පමණ ජනතාවක් වෙසෙන හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. වෙලංවිට සහ අක්කර සියය එහි දුෂ්කරතම ගම්මාන ලෙස සැලකේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ කරමින් සැප්තැම්බර් 25 වැනිදා හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිව ජනතාව සිය පාරම්පරික ගම් බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පැවසූහ. ඔවුනට සවන් දුන් ජනාධිපතිතුමා තෙමසක් ඇතුළත ප්‍රදේශයේ මාර්ග, විදුලිය, ජලය සහ පාසල් අවශ්‍යතා සපුරා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය ආයතන 19ක් විසින් ව්‍යාපෘති 51 ක් යටතේ වැඩසටහන ක්‍රියාවට නංවමින් හල්දුම්මුල්ල ග්‍රාමයේ පුළුල් සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කර තිබේ.

මාර්ග සංවර්ධනයට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. කි.මි 12 ක් දිගැති අක්කර සියය – වෙලංවිට මාර්ගයේ කි.මි 05 ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර තිබේ. ඉතිරි කි.මි 07 කාපට් ඇතිරීම ආරම්භ කර ඇත. අක්කර සියයේ සිට වෙලංවිටට යාමට ගත වූ පැය 1,1/2ක කාලය වැඩ නිමවීමෙන් පසු  විනාඩි 20 දක්වා අඩු වෙයි. මාර්ගයේ ඉදිකිරීම් අවසන් වූ වහාම බස් රථයක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැලසුම් කර තිබේ.

ගම්පහ – වෙලංවිට, කැලිපනාවල – හාල්කන්න, අක්කර සියය – කක්කුටුඅරාව සහ බෙරගල – වැල්ලවාය මාර්ගවල ඉදිකිරීම් ද පටන් ගෙන ඇත.

විදුලිය සැපයුම සඳහා  කණු සවි කරමින් පවතින අතර, රැහැන් ඇදීම නොපමාව ආරම්භ කෙරේ. එය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමට සූදානමින් සිටී.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය  පානීය ජල සැපයුම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාව සහ ඇස්තමේන්තුව සකස් කර අවසන්ව ඇත.

17 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙලන්විට, කුමාරතැන්න විද්‍යාලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාරව සිටී. පන්ති කාමර 04කට ඉඩ ඇති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සැප්තැම්බර් 04 වැනිදා ඇරඹිණ. නව පාසල් වාරයට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. සොරගුණේ විද්‍යාලයේ  නව පංති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිම කර තිබේ. පාසල්වල ගුරු හිඟයට විසඳුම් ලෙස සියලු විෂයයන් ආවරණය වන පරිදි ගුරුවරු පත් කරනු ලැබ සිටිති.  වැල්ලවාය – ගම්පහ විද්‍යාලයට සහ ජනානන්ද විද්‍යාලයට නව විදුහල්පතිවරුන් පත් කර ඇත. පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට හපුතලේ දෙමළ මහා විද්‍යාලය එක් කර තිබේ.

පුවත්

Most popular