Presidential Secretariat of Sri Lanka

නබි නායක දින පණිවිඩය

ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.

මුහම්මද්තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජීවත් වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය. අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට ගනිමින් උනුන් අතර වෛරය හා සැකය තුරන් කෙරෙන අයුරිනි.

පෙර නොවූ විරූ ගැටළු රැසක් මතු කරමින් ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සංහතියම අභියෝගයකට මුහුණ දී සිටී. මෙවන් කාලවකවානුවක ආගමික විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජීවත්වීම මානසික සහනය උදා කරයි. එසේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය, ජන කොටස් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගනු පිණිස නබි නායකතුමාගේ චරිතයෙන් උකහා ගත් යහ ධර්මයන් අප විසින් සමාජ ගත කළ යුතුව තිබේ.

නබි නායකතුමාගේ ඡන්ම දිනය සැමරෙන මෙසමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මෙන්ම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් මිලාදුන් නබි දිනයක් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2020 ඔක්තෝබර් මස 29 දින

පුවත්

Most popular