Presidential Secretariat of Sri Lanka

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සහ PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස් …

  • හඳුනාගත් සමීපතමයන් නිරෝධායනය ආසන්නතම හෝටලවල …
  • මර්දන නීති රීති ගැසට් කිරීමට අවධානය …
  • අහඹු පරීක්ෂණ කරන්නැයි සියලු කර්මාන්ත ශාලාවලට උපදෙස් …

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය  වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර තිබිණ. එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇති බව ජනාධිපතිතුමා කීය. මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීම පිළිබඳව පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය සිහිපත් කළ ජනාධිපතිතුමා නැවත එම වැඩපිළිවෙළ ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම අවධාරණය කළේය.

පුවත්

Most popular