Presidential Secretariat of Sri Lanka

ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීමයි – මහා මණ්ඩල සමුළුවේදී ජනපති කියයි

  • ලෝක ප්‍රජාව ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව සමග නැගී සිටිය යුතුයි …
  • යුද්ධයේ කටුක බව අත්විඳි ජාතියක් ලෙස ලෝක සාමයට කැප වෙනවා …
  • අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැඩි විමසිල්ලෙන් …
  • සොයා ගන්නා කොවිඩ් එන්නත අවශ්‍ය සැමට ගත හැකිවීම වැදගත් …

 

ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ  රාජ්‍ය නායක සමුළුව  ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (22) රාත්‍රී 9.00 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කෙරිණ.

“අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන්: බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම” (The Future We Want, the UN We Need: Reaffirming our Collective Commitment to Multilateralism) සමුළුවේ මෙවර තේමාවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් යන මහත්වරුන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් සමුළුව ආරම්භ විය.

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සහ ඇමරිකා  එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරු පළමු සහ දෙවන දේශන  කළහ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) අළුයම 4.45 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ, ආර්ථික ගැටළු විසඳීමට ශ්‍රි ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරයි. දරුවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමත්  තම අවශ්‍යතාව බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද රාජපක්ෂ මැතිතුමා පැවසීය.මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර, සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ අතර, එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පුවත්

Most popular