Presidential Secretariat of Sri Lanka

තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරතව සිටියහ. කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා යමින් සිටි ජනාධිපතිතුමා ඔවුන් අසළ සිය වාහනය නතර කොට සියලු උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කරන බව පැවසීය.

“දැන් ගෙදර යන්න. තවත් දස දහසකට රැකියා දෙන්න අද අනුමත කළා” ජනාධිපතිතුමා ඔවුනට කීය.

පුවත්

Most popular