Presidential Secretariat of Sri Lanka

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පවරා  ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පෙර පාසල්  ගුරුවරියනට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය.

දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

නව රජය පිහිටුවීමෙන් පසු ප්‍රමුඛ කාර්යක් සේ සලකා පෙර පාසල් පද්ධතිය  අමාත්‍යාංශයක් යටතට පත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (25) මාතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිතුමා අපේක්ෂක නිපුණ රණවක මහතා, මාතර වෙරළ උද්‍යාන යේ සංවිධාන කළ ජන හමුවේ දී ජනතාව සමග මේ බව සඳහන් කළේය.

නිපුණ රණවක මහතාගේ “2020 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය” ඇතුළත් වෙබ් පිටුව එළිදැක්වීම ද සිදු කෙරිණ.

රුහුණ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ මාතර දිස්ත්‍රික් චාරිකාව ඇරඹිණ. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සමග සුහද කථා බහක නිරත වූ එතුමා  අධ්‍යාපන කටයුතු සොයා බැලීය. Online ඉගැන්වීමේ ක්‍රමය සාර්ථකව සිදු කෙරෙන බව උපකුලපතිවරයා දැන්වීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා දෙවිනුවර දේවාලය ඉදිරිපිට ක්‍රිඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේදී  පානීය ජල ගැටළුව ඇතුළු ප්‍රදේශයේ ජනතා ගැටළු කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කෙරිණ. අතර මග නවතා ඇති දෙවිනුවර දේවාලයේ පූජා භූමියෙහි ප්‍රතිසංස්කරණ වැඩ නිම කර දෙන්නැයි කළ ඉල්ලීම කඩිනමින් ඉටු කරන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසල රථගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

පුවත්

Most popular