Presidential Secretariat of Sri Lanka

ස්වයං රැකියා උත්පාදනයට පූර්ණ සහය – ජනපති මහනුවරදී කියයි.

ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය, දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය උපරිමයෙන් කැපවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (11) මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් යටිනුවර, කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“පාරම්පරික කර්මාන්ත රැක ගනිමින් ඒවා දියුණු කළයුතුය. එවැනි කර්මාන්ත අතුළු රටේ ආර්ථිකයට දායකවන සියලු ස්වයංරැකියා කරුවනට ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය පහසුකම් සලසන්නම්” රාජපක්ෂ මැතිතුමා කීය. ආනන්ද අළුත්ගමගේ මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමාට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් දෙන ලෙස ජනාධිපතිතුමා හේවාහැට, තලාතුඔය බස්නැවතුම අසළ පැවති ජන හමුවේ දී ඉල්ලා සිටියේය. ආසනයට සංවිධායකවරයෙකු නැති නිසා වත්මන් ඡන්ද ක්‍රමය වෙනස්කරන ලෙස යෝජනා කරමින් ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ ගැටළුවට පිළිතුරු දුන් ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය. එළවළු කල්තබා ගැනීමට ශිතාගාරයක්, තලාතුඔය ප්‍රදේශයේ ඉදිකර දෙන ලෙස  ද ජනතාව ඉල්ලා සිටියහ.

වසන්ත යාපා බණ්ඩාර මහතා යටිනුවර, කිරිබත්කුඹුර ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. සියලු පහසුකම් සහිත නගරයක් ලෙස කිරිබත්කුඹුර සංවර්ධනය කර දෙන මෙන් ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවර බෝගම්බර, බන්ධනාගාරය ඉදිරිපිට සහ සෙංකඩගල, අම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට රැස්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

වතු  ජනතාව මුහුණ පා ඇති ගැටළුවලට ඉහළම සතුටුදායක විසඳුම් දෙන බව හේවාහැට, ගලහ නගරයේ හින්දු කෝවිල අසළ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේය. වතු පාසල්වලට සහ සෞඛ්‍ය අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.  බර්ටි අරුල්ස්වාමි මහතා ජන හමුව සංවිධාන කර තිබිණි.

පුවත්

Most popular