Presidential Secretariat of Sri Lanka

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

  • සැමටඑකඟවියහැකිසහඅනාගතයටගැළපෙන
    නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් …
  • සියලු නිර්දේශ සමාජ සංවාදයට …
  • පාසල් හා සරසවි Online අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් ….

සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් කෙරේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා” යන්න තේමා කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස්  වෙමින් පවතී. ගනු ලබන තීරණ රටටත්, අනාගත පරපුරටත් බලපාන නිසා සැමට එකඟවිය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම ඉතා වැදගත් බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පෙර පාසලේ සිට ප්‍රාථමික, ද්විතීයීක, උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද අවසන් වාර්තා අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් හෝ පුළුල් සමාජ සංවාදයට යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සියලු යෝජනා ජනතාව අතට පත් කොට ඊට ලැබෙන අදහස් සහ යොජනා ද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් විය යුතු බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කොවිඩ් මර්දනය සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමුණද Online අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්ය සාධක බලකාය පෙන්වා දුන්නේය.ආරම්භයේදී යම්  දුෂ්කරතා මතුවුවද මේ වන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබේ. පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ද ඉහළ ප්‍රතිශතයක් Online අධ්‍යාපනයට යොමු වීමෙන් මේ ක්‍රමය ඉදිරියේදී තවත් දියුණු කිරීමේ හැකියාව පෙන්වා ඇත. මේ  දත්ත  පදනම් කොට ගෙන Online උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව වැනි ගුරු පුරප්පාඩු පවතින විෂයයන් Online මගින් ආවරණය කිරීමට සැලසුම් කරන ලෙසද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිවයිනේ විශ්ව විද්‍යාල සියල්ල ඉතා වේගවත්ව Online ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් අභිබවා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Online අධ්‍යාපන ක්‍රමයටකලා පීඨ සිසුන්ගෙන් අපේක්ෂා නොකළ තරමේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.එය කලා විෂයයන් හදාරණ සිසුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීමට ජනාධිපතිතුමා අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමක් බව විශ්ව විද්‍යාල උපකුලපතිවරු පෙන්වා දුන්හ.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය සහ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින කාලය වසර දෙකකට අධික වේ. ඉන් ප්‍රයෝජන ගෙන ඉංග්‍රීසි භාෂා සහ පරිගණක තාක්ෂණ දැනුම රටේ සියලු දරුවන්ට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු  යන අමාත්‍යාංශ තුනම එක අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝගත්‍යාව පිළිබඳ ජනාධිපතිතුමා විසින් කාර්ය සාධක බලකායේ  අදහස වීමසීය. එය වඩා සුදුසු බව ඇතැම් විද්වතුන්ගේ අදහස විය.

බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම  අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. චිත්‍රානන්ද, යන මහත්වරු සහ  කාර්ය සාධක බලකායේ නියෝජිතයෝ,  උපකුලපතිවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular