Presidential Secretariat of Sri Lanka

පොසොන් පොහොය දින පණිවුඩය

ශ්‍රී සම්බුද්ධ ධර්මය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වීම අප රටේ බොදු ජනයා වසර දහස් ගණනක සිට සිරිතක් කොට ගෙන සිටිති. ඒ උන්වහන්සේගේ ආගමනය ශ්‍රී ලංකාද්වීපයෙහි ආගමික, සංස්කෘතික, සාමාජයීය, දේශපාලනික ආදී සෑම අංශයකින්ම ශිෂ්ටාචාරමය පරිවර්තනයකට හේතු වූ නිසාය.

සහශ්‍රක දෙකකටත් වඩා අතීතයට දිවෙන, මිහිඳු මහරහතන් වහන්සේ සහ එකල අපේ නරපතියා වූ දේවානම්පිය තිස්ස රජු අතර හමුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂීම සංසිද්ධියයි. අපේ සමාජ වටිනාකම්, ආර්ථිකය, සාහිත්‍යය, කලාව හා ශිල්ප ක්‍රම පවා මහින්දාගමනය තුළින් අලුත් මගක් ගත්තේය. අහස උසට නිමැවුණු දාගැබ් ද, මහසයුර සදිසි මහවැව් ද, රට ස්වයං පෝෂිත කළ කෙත්වතු ද, ලොව මවිත කළ අද්විතීය කලා නිර්මාණයන් ද, ඒ සියල්ලටම වඩා අටලෝ දහමින් අකම්පිත, ගහකොල සතාසීපාවාට පවා සාධාරණය ඉටුකළ, අපිස් බව ජීවන ප්‍රවෘත්ති කරගත්, සිවු බඹවිහරණ ලෙහි දරාගත් ලාංකික බොදුනුවා ද බිහිවන්නේ මේ සමාජ සංස්කෘතික විප්ලවයත් සමග ය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේය. දෙලොව යහපත පිණිස සබුද්ධිකව ක්‍රියා කරන ශිෂ්ටසම්පන්න සමාජයක් බිහිකිරීමට ද ඒ දහම ඉවහල් විය. එබැවින්, අතීතයට පමණක් නොව අනාගතයට ද අප රටක් ලෙස ලද වටිනාම දායාදය වන බුදුදහම අපට උරුම වූ උතුම් දිනය පොසොන් පුර පසළොස්වක පොහොය ලෙස සෑම හදවතකම ලියැවී තිබේ.

අප සෞභාග්‍යවත් දේශයක් කරා රට මෙහෙය වන්නේ අතීතයෙන් ලද අත්දැකීම්වලට හා බුදුදහමෙන් ලද ආභාෂයට අනුගතව ය. සැමට සාධාරණය ඉටුවනුයේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන්, විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක බව මගේ විශ්වාසය යි. මගේ රජය වර්තමානයට පමණක් නොව අනාගතයට ද සැලසුම් ක්‍රියාත්මක කරන්නේ එකී පදනම මත පිහිටා බව කිව යුතුය. රට වර්තමානයේ මුහුණ දී ඇති වසංගතය හමුවේ වුවද අප, ශිෂ්ටාචාරගත පදනම වූ ඒ දර්ශනයෙන් බැහැර වූයේ නැත. යථෝක්ත පදනමෙන් තොර ගමනක් ශ්‍රී ලාංකිකයන් වන අපට නොමැත.

එළැඹ ඇති මෙවර පොසොන් සමය සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුගතව යථාර්ථවාදීව බැලීමට හා අවිහිංසාවාදී බුදුදහමේ ප්‍රභාව ලොවට හෙළි කිරීමට අවස්ථාව කර ගැනීම අනුබුදු මිහිඳු මාහිමියන්ට කළ හැකි වටිනාම උපහාරය බව මගේ හැඟීමයි.

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා යි පතමි.

ගෝඨාභය රාජපක්ෂ
2020 ජුනි මස 04 වන දින

පුවත්

Most popular