Presidential Secretariat of Sri Lanka

අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි වත්මන් තත්ත්වය ජනපති විමසුමට

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ  වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලයඔස්සේ ද දැකගැනීමට පිළිවන. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගනී.

ගුවන් ගමන් හා රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සිට විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු අවස්ථා රැසකදී ඉදිරිපත් කළයුතු ජීව තොරතුරු එහි ඇතුළත් කොට තිබේ.

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යෝජනා කෙරිණි. එහි මූලික සැකසුම් 2012 වසරේදී ආරම්භ විය.  නව හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුවක් යටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පුර්ණ මගපෙන්වීමෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක අධීක්ෂණයෙන් සිදු කෙරේ.

සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි,  ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරුන් වන  වරුණ ධනපාල හා යූ.කේ. බණ්ඩාර , ආගමන, විගමන පාලක වී.බී. සරත් රූපසිරි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ, තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත්  යන මහත්වරු එක්ව සිටියහ.

පුවත්

Most popular