Presidential Secretariat of Sri Lanka

ඉදිරි අවදානම් හඳුනාගෙන පසු නොබැස වැඩ කරන්න

ජනාධිපති කාර්ය සාධක බලකායට ජනපති කියයි

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය.  සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා සදහන් කරයි.

නාවික හමුදාවෙන්  සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාවCOVID-19මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කෙරිණ. පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභී  3297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද ජනාධිපතිතුමා කීය.

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක්  පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි  ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.

නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසාව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා  ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතුය.

ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතුයැයි ද ජනාධිපතිතුමා පැවසීය.

කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායට කීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular